විහාර මන්දිරය

          ශ්‍රී සිරිමල්වත්ත රජමහා විහාරස්ථානයේ විහාර මන්දිරය ගල්තලාවක් මත ඉදි කරනු ලැබ තිබීම මෙහි පවතින විශේෂ ලකෂණයක් වශයෙන් සදහන් කළ හැතිය . පුරාණයේ මෙම පූජා භූමියේ ඉදි කරනු ලැබූ විහාර මන්දිරය ලී වලින් තනා තිබුනු බවට තොරතුරු ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් හමුවේ . අනුරපුර රජ සමයේ භාතිය රජු දවස පමණ වන විට මෙම විහාර මන්දිරය ඉදි වී තිබෙන්නට ඇතැයි පැවසීමට තරම් සාධක නොමැත . විහාර මන්දිරය සැදැහැවත් ජනයාට මල් පහන් පූජා කරමින් අවශ්‍ය වන්දනා මාන කටයුතු කිරීමට තරම්වන ගොඩනැගිල්ලක් ලෙසින් පවතින්නට ඇත . භාතිය රජ සමයට සමකාලීනව විහාරස්ථානයේ තරමක හෝ දියුණුවක් තිබුණු බව පැවසීමට හැකි සාධක ජනප්‍රවාදයේ එයි . භාතිය රජුගේ රාජ්‍ය සමයෙන් පසු විහාරස්ථානය පිලිබඳ තොරතුරු පොත් පත් වලින් හමුවන්නේ මහනුවර රජ පැමිණි ii විමලධර්මසූරිය රජ දවස පටන්ය .

          ක්‍රි . ව . 1680 පමණ කාලය වන විට නව රියන් විහාර මන්දිරය හා චේතියඝරය ගරා වැටී තිබුණු බව සඳහන් වේ . ඉන් පසුව සිරිමල්වත්තට ඥාතී සම්බන්ධයක් ඇති පල්කුඹුරේ තෙරුන් වහන්සේ නමක් විසින් මෙම විහාරස්ථානය නැවත පිලිසකර කර බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වඩා හිඳුවා නොයෙක් අලංකාර ගල්කර්මාන්තයන් හා දැව කර්මාන්තයන් උපයෝගී කර ගෙන විහාර මන්දිරය නැවත සකසා මකර තොරණ් ආදියෙන් අලංකාර කරවා විහාරස්ථානයේ දියුණුව උදෙසා සෑහෙන පමණ වැඩ කොටසක් ඉටු කර තිබේ . ඉන් පසුව නොයෙක් පුද පූජා පවත්වන ලද බවටද තොරතුරු පොත්පත් වල සඳහන් වේ . මෙම තෙරුන් වහන්සේගේ අභාවයෙන් පසුව නැවතත් ගිහි භුක්තියට ගොස් ජරාජීර්ණ තත්ත්වයට පත් වූ බැව් සඳහන් වේ .

          ඊට පසු කාලයක රජ පැමිණි ශ්‍රී වීර පරාක්‍රම රජ දවස පල්කුඹුරේ අත්තදස්සි හිමියන් විසින් මෙසේ ගිහි භුක්තියට ගොස් පසුව ජරාජීර්ණ තත්ත්වයට පත් විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කල බවට තොරතුරු සඳහන් වේ . මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව මැදසියපත්තු කෝරලයේ පිහිටා තිබෙන පල්කුඹුර ගමෙහි විහාරස්ථානයට ගැලපෙන පරිද්දෙන් සිරිමල්වත්ත විහාරය තෙරුන්වහන්සේ විසින් නැවත සාදවන ලද බව සඳහන් වේ . විහාරස්ථානයේ දියුණුවට කටයුතු කරන ලද අත්තදස්සි හිමියන්ගේ කාලය තුල බෝධිමාලක , සෝභණමාලා දී නොයෙක් කර්මාන්තයන් සිදු කල බවටද තොරතුරු හමුවේ . විසිතුරු ශෛලය , බුද්ධ ප්‍රතිමාවන් ද මෙම හිමියන්ගේ කාලයේ කරවා එයට පුද පූජා පැවත් වූ බව තවදුරටත් සඳහන් වේ . මේ කාලයේ ඉදි කරන්නට ඇතැයි සැලකිය හැකි පොකුණක් විහාර මන්දිරයට පහලින් ගල්තලාවේ අදද දක්නට තිබේ . මෙම විහාරයේ වැඩ විසූ පලමු විහාරාධිපති හිමියන් ලෙස මෙම හිමියන් සැලකිය හැකිය . ශ්‍රී සිරිමල්වත්ත රජමහා විහාරස්ථානයේ විහාරාංගයන් දියුණු කරමින් සෑහෙන පමණ වැඩ කටයුතු සිදු කල බවට පැහැදිලි සටහනක් දක්නට ලැබෙන්නේ අත්තදස්සි හිමියන් ගේ කාලවකවානුවේදීය .

          පසුව නරේන්ද්‍රසිංහ , ශ්‍රී රාජසිංහ හා කීර්ති ශ්‍රී රාජසිංහ රජවරු ද විහාරස්ථානයේ අභිවෘද්ධියට අනුග්‍රහය දක්වා ඇත . නරේන්ද්‍රසිංහ රජතුමන්ගේ ජීවිතයේ රසබර සිද්ධීන් හා බැදුනු කථා රාශියක් ද විහාරස්ථානය හා බැදී පැවති බවට ජනප්‍රවාදයේ සඳහන් වේ . මහනුවර රජසමයේ දී අදට වඩා ජනප්‍රියත්වයක් විහාරස්ථානයට හිමි වී ඇති බවට ඓතිහාසික සාධක විද්‍යාමාන වේ . කීර්ති ශ්‍රී රජසිංහ රජු දවස විහාරසථානයට සන්නසක් පූජා කර ඇති බව කියවේ . මෙසේ වරින් වර රජ පැමිණි රජ දරුවන් අනුග්‍රහය නොබැදිව විහාරස්ථානයට ලැබී ඇති බව ඓතිහාසික මූලාශ්‍රයන්ගේ සඳහන් වේ .

          කීරති ශ්‍රී රාජසිංහ රජුගේ ඇවෑමෙන් 1782 - .1798 දක්වා රජකල ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමන් මෙම විහාරස්ථානය පිලිසකර කරමින් , තවද ගම්බිම් රාශියක් පූජා කරමින් තම අනුග්‍රහය දක්වා ඇත . රාජාධි රාජසිංහ රජතුමන් සිරිමල්වත්ත ග්‍රාමයේ ඓතිහාසික පුද බිමේ පුරාණයේ සිට පැවති ලී වලින් කල විහාර මන්දිරය වෙනුවට නව පිළිම වහනසේලා තුන් නමක් පිහිටුවා 18 රියන් විහාර මන්දිරයක් කරවා තිබේ . නා ලීයෙන් නිමවා බදාම වලින් ඔපවත් කර වර්ණ ගන්වන ලද හිටි පිළිම වහන්සේලා දෙනමක් හා ඔත් පිලිම වහන්සේ නමක් මෙම පිළිම වහන්සේලාට අයත් වේ . ඉතා තුනීවට කිට්ටුවෙන් පිහිටි මෙම පිළිම වහන්සේලා තුන්නම මහනුවර යුගයේ නිර්මාණයන්ට අයත් යැයි සැලකිය හැක . මිගස්තැන්නේ අදිකාරම් විසින් රාජසිංහ රජුගේ ඉල්ලීමට අනුව පිටවල කුඹුරු මෙම විහාරස්ථානයට පූජා කරන අවස්ථාවේ දී පූජා කරන ලද පිත්තලින් නිමවන ලද අඩි එකහමාරක් පමණ උසැති හිටි පිළිම වහන්සේ ද මෙම යුගලටම අයත් නිර්මාණයක් සේ සිතිය හැක .



මෙම පිටුව මිතුරන් අතරේ බෙදාහරින්න

0 Comment::

Post a Comment

සෙවුම් යන්ත්‍රය

අපගේ Facebook පිටුව

සියලු ලිපි