කන්ද උඩරට සිරිමල්වත්ත පුදබිමේ ඓතිහාසික වටපිටාව

          සිංහලයේ අන්තිම රාජධානිය වූ කන්ද උඩරට ඓතිහාසික සෙංකඩගල පුරවරයට යටතව සැතපුම් තුනක් පමණ දුරින් පාතදුම්බර පළාතේ උඩගම්පහ කෝරලයට අයත් . සිරිමල්වත්ත ග්‍රාමවරය පිහිටා ඇත . දරශනීය ලෙස ගලායන මහවැලි ගඟ වම් ඉවුරේ මනහර වූ ගල් තලාවක් මත මෙම ශ්‍රී සිරිමල්වත්ත රජමහා විහාරස්ථානය පිහිටා ඇත .


          මහනුවර සිට ගමන් ගන්නා විට බූවැලිකඩ හන්දියෙන් හැරී ලේවැල්ල තොටුපල අසලට පැමිණ නව පාළමෙන් එගොඩ වී දකුණු පසට ඇති මාර්ගයේ සැතපුම් භාගයක් පමණ යාමෙන් සිරිමල්වත්ත රාජමහා විහාරයට පැමිණිය හැකිය . තවද , කටුගස්තොට හන්දියෙන් හැරී මෙම ස්ථානයට ලඟාවිය හැක . මහවැලි ගං ඉවුරේ ජල පෝෂක ප්‍රදේශයක් වන පාත දුම්බර මිටියාවතට අයත් දර්ශනීය කෙත් යායකින් මනහර වූ කඳු වලල්ලකින් වට වී ඇති සිරිමල්වත්ත ග්‍රාමයට පැමිණ මනහර වූ ගල්තලාවක් දිගේ මඳ දුරක් යාමෙන් මෙම ශ්‍රී සිරිමල්වත්ත ඓතිහාසික රජමහා විහාරස්ථානය හමුවේ . මෙම විහාරස්ථානයේ විශේෂ ලක්ෂණයක් වන්නේ ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ අංකුර ශාකාවක් වන අවුරුදු දෙදහස් තුන්සියයක් පමණ පැරණි බෝධීන් වහන්සේ , චෛත්‍යඝරය සහිත එකොලොස් රියන් චෛත්‍යය රාජයා හා ඉපැරණි කළා කෘතීන්ගෙන් පිරී ගිය විහාර මන්දිරයද ධරම ශාලාවද යන සියළුම විහාරාංගයන් ගල් තලාවක් මතුපිට පිහිටා තිබීමයි . ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක අනුව වර්ශ දෙදහස් තුන්සීයක් පමණ ඉතිහාසයක් මෙම විහාරස්ථානයට හිමිව ඇත . ජනප්‍රවාද සහ ජනශ්‍රැති වල දැක්වෙන්නේ ක්‍රි.පු. 247 සිට ක්‍රි.පු. 207 දක්වා පමණ රජකල දේවානම් පියතිස්ස රජ දවස සිදු වූ මහින්දාගමනයෙහි ප්‍රතිඵලයක් වශයෙන් මේ ශ්‍රී ලංකාද්වීපයේ සෑම පලාතකම පාහේ බුදු දහම ව්‍යාප්ත කරන ලද බවයි . දුමින්දාගමනයෙන් පසුව දෙවන පෑ තිස්ස රජු භාරතීය ධර්මාශෝක රජු සමඟ ඉතාමත් කිට්ටු මිත්‍ර සම්බන්ධතාවයක් ද ගොඩනඟා ගත්තේය . මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ධර්මාශෝක රජුගේ දියනියක වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් දඹදිව බුද්ධගයාවේ වැඩ විසූ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ දක්ශිණ ශාඛාව ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවන ලදි . සංඝමිත්තා තෙරණින් වහන්සේ මෙරටට වැඩම කරවන විට තෙරණින් සමඟ පැමිණි තවත් පරිවාර සේනාවක් ද පැමිණ ඇත . දඹදිව බුද්ධගයාවේ වැඩවෙසෙන ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගෙන් හට ගත් දකුණු අංකුර ශාඛාව මෙරටට වැඩම කර වූ බව ඓතිහාසික මූලාශ්‍ර වල සඳහන් වේ . මෙසේ වඩම්මවාගේන ආ බෝධීන් වහන්සේලා ගේන් හටගත් බෝධිශාඛා අසූ නමක් දිවයිනේ සෑම පළාතකම පාහේ රෝපණය කරවා සැදැහැවත් බෞද්ධ ජනයාට ඊට වන්දනා මාන කිරීමට අවස්ථාව සලසා දුන් ඓතිහාසික විස්තරයන් හි හමුවේ .



          දේවානම්පියතිස්ස රජු දවස මෙරටට වඩම්වා ගෙන ආ දඹදිව බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයකින් හටගත් බෝධීන් වහන්සේ නමක් රජුගේ අනුශාසනා පරිදි සුමිත් නම් පරපුරෙන් පැවත එන සුමිත්ත නම් අමාත්‍යවරයා විසින් කනද උඩරට මෙම විහාරසථානයෙහි රෝපණය කරන ලද බව බෝධිවංශය වැනි ඓතිහාසික මූලාශයන්ගේ සඳහන් වේ . ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් දෙවැන්නට අයත් වන බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට සැදැහැවත් බෞද්ධයන් වැඩි කැමැත්තක් දැක්වූ බව පෙනේ . කන්ද උඩරට රෝපණය කරන ලද මෙම බෝධීන් වහන්සේට මල් පූජා කිරීමට ගලින් නිමවන ලද මල් ආසනයක් තිබී ඇත . අඩි 04 ක් පමණ දිග අඩි 02 ක් පමණ පලලින් යුතු ගල් ආසනයක් මෑත කාලය වනතුරුම බෝධීන් වහන්සේට මල් පූජා කිරීමට තිබුණු බවට සාධක ජනප්‍රවාදයේ හමුවේ . අවුරුදු දෙදහස් තුන්සියයක් පමණ පෞරාණික ඉතිහාසයකට උරුමකම් කියන මෙම ඓතිහාසික බෝධි රාජයාණන් වහන්සේ මේ වන විට පරිවාර බෝධීන් වහන්සේලා රාශියකින් යුක්තව ඉතාමත් දර්ශනීය ලෙස අතුපතර විහිදුවාගෙන විරාජමානව වැඩ හිදිමින් තම පෞරාණික බව සැදැහැවත් බෞද්ධ බැතිමතුන්ට විදහා දක්වයි .



          දේවනම්පියතිස්ස හෙවත් දෙවන පෑතිස් නිරිඳුන් කල රෝපණය කරන ලද බෝධීන් වහන්සේ අයත් කන්ද උඩරට මෙම ප්‍රදේශයට සිරිමල්වත්ත යන නාමය ලැබී ඇත්තේ ඉන් වසර ගණනාවකට පසු රජ පැමිණි භාතිය රජ සමයේදීය . ක්‍රි.ව. 30 සිට ක්‍රි.ව. 66 දකවා රජකල භාතිය රජු බෞද්ධාගමික පුද සිරිත් අගය කරමින් බෞද්ධ පූජෝත්සව පැවැත් වූ බෞද්ධ රජ කෙනෙකි . මෙම රජතුමන් ගේ රාජ්‍ය පාලන සමයේ දි වර්ශයක් පාසා ආගමික උත්සව පවත්වනු ලැබ තිබේ . එවකට පවත්වනු ලැබූ ආගමික උත්සව අතර රුවන් වැලි මහා සෑය සුදු මල් වලින් වැසීමට රජු සිරිතක් කරගෙන තිබේ . මේ සඳහා අවශ්‍ය සුදු මල් ලබා ගැනීමට දිවයිනේ විවිධ පලාත් වල මල්වතු පිහිටුවා තිබූ බව සඳහන් වේ . අනුරාධපුරයේ පැවැත්වෙන මෙම රුවන්වැලි මහා සැය සුදු මල් වලින් වැසීමේ කාර්ය සඳහා අවශ්‍යය මල් රැගෙන යාමට කන්ද උඩරට මෙම ප්‍රදේශයේ පිච්ච මල් ගස් රෝපිත මල් වත්තක් පැවැත්වූ බවට සාධක ජනප්‍රවාදයේ හමුවේ . මෙම පිච්ච මල්වත්තෙන් අනුරාධපුරයට පිච්ච මල් රැගෙන යන විට එම පිච්ච මල් පොහොට්ටු වශයෙන් තිබුණු බව සඳහන් වේ . අනෙක් ප්‍රදේශ වලින් ගනා මල් තැලී පොඩි වී තිබෙන විට කන්ද උඩරට මල් වත්තෙන් රැගෙන ගිය මල් ඉතාම ලස්සනට පොහොට්ටු වශයෙන් තිබී ඇත . එම අවස්ථාවේ සතුටු වූ භාතිය රජතුමන් එම මල් දිවයිනේ කුමන ප්‍රදේශයෙන් ගෙනාවේදැයි ජනතාවගෙන් විචාල කල් හි එම මල් කන්ද උඩරට මල් වත්තෙන් ගෙනා බව සැල කර සිටියේය . පොහොට්ටු වශයෙන් පැවති මෙම පිච්ච මල් වලට පොහොට්ටු යන අර්ථය ඇතිව හිරිමල් යැයි පැවසු රජතෙම මෙම මල් හිරිමල් ගෙනා වත්ත "හිරිමල්වත්ත" නමින් හදුන්වා ඇත . ඉන් පසු ජනතාව අතර හිරිමල්වත්ත යන නමින් ප්‍රසිද්ධියටට පත් කන්ද උඩරට ප්‍රදේශයේ පැවති මෙම ග්‍රාමය කාලයාගේ ඇවෑමෙන් සිරිමල්වත්ත යන නමින් ප්‍රසිද්ධියට පත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ .



          මෙසේ කාලය ගත වන විට කනද උඩරට ප්‍රදේශයේ පිහිටා තිබෙන සිරිමල්වත්ත ග්‍රාමයෙහි රෝපණය කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාවක් වන බෝධීන් වහනසේට කන්ද උඩරට ජනතාව මහත් හරසරින් යුතුව පුද පූජා කල බවට ඓතිහාසික සාධක ජනප්‍රවාදයේ දක්නට ලැබෙයි . පුරාණයේ මෙම බෝ සමිඳුන්ට මල් පහන් පූජා කිරීමට ගල් ආසනයක් භාවිතා කර ඇති බවට මුඛ පරම්පරාවෙන් සාධක පවතී . ඒ කාලයේ බෝ සමිඳුන්ට වනදනා මාන කිරීමට පැමිණෙන සැදැහැවත් බෞද්ධ ජනයා මල් පහන් පූජා කිරීමට භාවිතා කරන්නට ඇතැයි සැලකෙන අඩි 04 ක් පමණ දිගින් යුතු අඩි 02 ක් පමණ පලලින් යුතු ගල් ආසනයක් මීට දශක දෙකකට පමණ පෙර ද බෝධීන් වහන්සේ අසල තිබූ බව කියවේ . අද මෙම ගල් ආසනය විහාරස්ථානයේ කෞතුකභාණ්ඩ අතර දක්නට ලැබේ .



          මේ කාලය වන විට මෙම ස්ථානයෙහි ලී වලින් ඉදි කරන ලද විහාර මන්දිරයක් තිබෙන්නට ඇතැයි අනුමාන කිරීමට හැකිවන සාධක හමුවෙ. මෙම ස්ථානයේ මුල් කාලීනව ඉදි කරනු ලැබ ඇත්තේ නව රියන් විහාර මන්දිරයක් බව පොත පතේ සඳහන් වේ. එසේම ශ්‍රී සම්මා සම්බුද්ධ තිලෝගුරු අප බුදු පියාණන් වහන්සේගේ ශාරීරික ධාතූ තැන්පත් කර කබොක් ගලින් නිමවන ලද 11 රියන් චෛත්‍යය රාජයා හා ලී කුළුණු 16 ක් මත ඉදි කරන ලද චේතියඝරයක් තිබූ බවට තොරතුරු පත පොතේ සඳහන් වේ. මුල් කාලීනව ලි වලින් ඉදි කරන ලද චේතියඝරය ක්‍රි . ව . 1680 පමණ කාලයේ රජ පැමිණි ii විමලධර්මසූරිය රජ කල වන විට ජරාජීරණ තත්වයට පත්ව තිබී යලි ප්‍රතිසංස්කරණය කල බවට තොරතුරු පත පොතේ හමුවේ. 1928 අගෝස්තු මස 31 වන දින කොළඹ රත්නාකර වෙළඳ සමාගම ප්‍රකාශයට පත් කල ඩී . ජී . රණසිංහ නම් කතුවරයා විසින් රචනා කරන ලද පුරාවෘත්තය නම් ග්‍රන්ථයේ ද සඳහන් වන තොරතුරු අනුව සිරිමල්වත්ත ඓතිහාසික රජමහා විහාරස්ථානය මහනුවර යුගයට පෙර ඉදි කරන්නට ඇතැයි සැලකිය හැකි සාධක විද්‍යාමාන වේ.



          ඓතිහාසික හා පුරා විද්‍යාත්මක සාධක අනුව බලන කල මෙම චෛත්‍යය රාජයාණන් වහන්සේට වසර 900 කට වඩා පැරණි ඉතිහාසයක් ඇති බව පැහැදිලි වේ. තිලෝගුරු සම්ම් සම්බුදු බුදු රදුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා නිදන් කර කබොක් ගල් වලින්ම සාදා නිම කරන ලද චෛත්‍යයක් වීම විශේෂ ලක්ෂනයක් ලෙස සඳහන් කල හැක. තවද විශේෂ ලක්ෂණයක් ලෙස දැක්විය හැක්කේ මෙම චෛත්‍යය රාජයා ගල්තලාව මත ඉදි කරනු ලැබතිබීම හා චෛත්‍යය රාජයා අව්වෙන් හා වැස්සෙන් ආරක්ෂා වීමට ඉදි කරන ලද චේතියඝරයකින්ද සමන්විත වීමයි. වර්තමානයේ බදාමයෙන් නිම කරන ලද කුළුනු 08 ක් මත ඉදි කරන ලද විසිතුරු සිතුවම් සහිත චේතියගරය ඇති ස්ථානයේහි ගල් තලාව සිදුරු කර ඓතිහාසික චේතියඝරයක් ලී කුළුණු 16 ක් මත ලී වලින් ඉදි කර තිබුනු බවට සාධක අද ද දක්නට ලැබේ .



          කලින් කලට දියුනුවට හා පරිහානියට පත් වෙමින් පැවත ආ මෙම විහාරස්ථානයේ විහාරාංගයන් මහනුවර යුගයේ දී රජ පැමිණි රජවරුන්ගේ අනුග්‍රහය මත ඒ ඒ කාලවකවානු වල දී යළි යළිත් ප්‍රතිසංස්කරනය කල බවට තොරතුරු පත පොතේ හා ජනප්‍රවාද ද හමුවේ . මේ අනුව චේතියගරය සහිත 11 රියන් චෛත්‍යය රාජයා හා ලී වලින් නිමවන ලද නව රියන් විහාර මන්දිරයද මහනුවර සමයේ රජ පැමිණි ii වන විමලධර්මසූරිය රජ දවස වන විට සෑහෙන පමණ දුරට ජරාජීර්න තත්වයට පත්ව තිබුණු බව සඳහන් වේ. මෙ කාලයේ සිරිමල්වත්තට ඥාතී සම්බන්ධතාවයක් ඇති හිමි නමක් රජුගේ අනුග්‍රහයද ලබා ගෙන මෙම විහාරසථානයේ සියළු විහාරාංගයන් සමපූර්ණ කොට පිලිසකර කරන ලද බවට තොරතුරු විවිධ ලේඛනවල සඳහන් වේ. බෝධීන් වහන්සේ හා නවරියන් විහාර මන්දිරයද නව සංඝාවාසයක්ද සාදා ප්‍රතිසංස්කරණය කර ඉතා අලංකාර ලෙස පුද පිලිවෙලින් ඉටු කර පූජෝත්සවයද පැවත් වූ බවට සඳහන් වේ.



          ඩී . ඩී . රණසිංහ නම් කතුවරයා විසින් රචනා කරන ලද 1928 අගෝස්තු මස 31 වන දින කොළඹ රත්නාකර වෙළඳ සමාගමෙන් ප්‍රකාශයට පත් කරන ලද පුරාවෘත්තය නම් ග්‍රන්තයේ දෙවන ඛාණ්ඩයේ 19 වන පිටුවේ සහ 20 වන පිටුවේ මෙ පිලිබඳව සඳහන් වන විස්තරයක් මෙසේය , 



" එයින් පසු විමල කීර්ති ශ්‍රී සාර සකල භූමණ්ඩලේශ්වර වූ උතුම් විමලකීර්ති ශ්‍රී ධර්ම සූර්යය මහා රාජෝත්තමයානන් වහන්සේට දුක් ගැන මෙම රාළහාමි සාරසියපත්තුවේ රට කරවමින් සිටිනාකර වල් වැදී සිටි බෝතලයා නම් ඇතා අල්වන්නට මහාවාසලින් අවසර ලැබී එහි ගිය විට ඇතුගෙන් ආත්ම හානි වූයේය. 


ඉක්බිති මෙම රාලහාමි දුවනියක් තොමෝ ශ්‍රී සෞභාග්‍යය භූමණ්ඩලේශවර වූ උතුම් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මහා රාජොත්තමයාණන් වහන්සේගේ අවසර ලැබ කළු බණඩාර කියන රාලහාමි සමඟ සරණව ගොස් දෙගල්හොරුව නම් ගමේ උඩ ගෙදර සිටියාය.

මෙම කළු බණ්ඩාර වෙනුවට උපන් වැඩිමහල් දුවණිය සාරසියපත්තුවේ අරඹේගම නාරායන මුදියන්සේගේ ලොකු අප්පුහාමි සමඟ සරණව ගොස් විසුවාය.


          මෙම අප්පුහාමිට සහජතා වූ කෙනෙක් මහණව ජනදස් නිඝණ්ඩු ව්‍යාකරණයේ දි නොයෙක් ශ්‍රාස්ත්‍රයන් හි දක්ශව ධර්ම දානයෙන් සියල්ලන් සනෙතෝෂ කරවන පල්ලේකුඹුර කියන ගමෙහි විහාරයට සුදුසු පරිද්දෙන ශෛලමය සදුන් කූඩමක් කරවා ඊට ගල් උළුවස්සක් සාදා එහි ඉදිරිපිට ගල්වැම් පිහිටුවා දැව පේකඩ කැටයම් කොට ගොනැස්ලා ඉෂ්ඨ කාච්දන කර නව රියන් මණ්ඩපයක් කරවා අනිකුදු ප්‍රාකාර බෝධිමාලක සෝභණමාලා දී නොයෙක් කර්මාන්ත ශෛලමය කොට නිමවා කෛලාශකට ශෘංගයාමාන මණිමය ශිඛර විහාර සුනු පිරියම් ලබා අතුල ජරාවෙස් දුරු කර විසිතුරු කර්මාන්තයන් නිමවා බුද්ධ ප්‍රතිබිම්බයක් නෙත්‍ර ප්‍රතිෂ්ඨාකර මාගැඟි පූජා පවත්වා පරලෝකපරායණ විය .



          එයින් පසුව මෙම ගම ගිහි භුක්තියට ගොස් විහාරයට වතාවත් නැතිව පාලුව තිබෙන ප්‍රස්ථාවට මෙම පරම්පරානුගත පල්කුඹුරේ තෙරුන් වහන්සේ මේ විහාරයට ගොස් එහි අභ්‍යන්තරයෙහි එක්බද්ද තිබූ මේ සුඹස් සිදුරු කඩා දමා පවිත්‍ර චිත්‍ර මකර යුගලකාන්ද කනසිරපකතියකිනද හා තිඹිසි වක්ත්‍රයකින්ද අලංකාර කරවා දෙවනුව වාලුකා නබ් ගංගාවක් සමීපයෙහි සිරිමල්වත්ත කියන ගමෙහි නව රියන් විහාරයක් කරවා එහි නොයෙක් අලංකාර පුද පූජා පවතවා ශාසනයට ගෞරව වැඩුයේය . 



          * මෙම රාලහාමි - කහද රාලහාමි 

* සිරිමල්වත්ත - මහනුවර ජනපරයේ පාතදුම්බර උඩගමපහ කෝරලේ පිහිටා තිබේ.
* අරඹේගම - මහනුවර ජනපදයේ හාරිස්පත්තුවේ මැදසියපත්තුවේ කෝරලයේ පිහිටා තිබේ.
* පල්ලේකුඹුර - මහනුවර ජනපදයේ හාරිස්පත්තුවේ කෝරලෙයේ පිහිටා තිබේ. (කටුගස්තොට දුම්රිය ස්ථානයේ සිට සැතපුම් පහක් පමණ දුර වේ.) මෙහි සඳහන් විහාරය මේ දක්වාම තිබේ. 

පුරාවෘත්තය නම් ග්‍රන්තයේ අංක 13 යටතේ දක්වෙන කහඳ සුමිත්‍ර පෙළපත උඩරටට පැමිණිම නම් කොටසින් උධෘතකාර ගන්නා ලද මෙම විස්තරයෙන්ද ශ්‍රී සිරිමල්වත්ත ඓතිහාසික රජමහා විහාරස්ථානය පිළිබඳව තොරතුරු බිඳක් දැන ගත හැකිය.

          මහනුවර යුගයේ රජ පැමිණි ii විමලධර්මසූරිය රජ දවස ජරාජීරණ තත්වයට පත්ව තිබුණු මෙම විහාරස්ථානය රජුගෙ අනුග්‍රහය ඇතිව පිලිසකර කරන ලද බවට මුඛ පරම්පරා ගතව පැවත එන තොරතුරු අපට හමුවේ . ඉන්පසුව රජ පැමිණි ශ්‍රී වීර පරාක්‍රම නරේනද්‍රසිංහ රජු දවස රජුගේ අනුග්‍රහය ඇතිව සිරිමල්වත්තට ඥාතී සම්බන්ධයක් ඇති තෙරුන්වහන්සේ නමක් කලින් පැවති විහාරාංග යලි ප්‍රතිසංස්කරණය කරවා නවරියන් විහාර මන්දිරයක් කරවූ බවට තොරතුරු පොත පතේ සඳහන් වේ . මෙම හිමියන් විසින් නිමවන ලද උළුවස්සක් සිටුවා ලී වලින් කැටයම් කරන ලද දොරවල් සවිකර නවරියන් විහාර මන්දිරයක් කරවා විසිතුරු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්ද වඩා හිඳුවා නොයෙක් විසිතුරු පූජා පැවැත් වූ බවට සඳහන් වේ .

           මහනුවර යුගයේ රාජ්‍යත්වයට පත් ii වන විමලධර්මසූරිය රජතුමා වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා , කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සහ ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමා යන රජවරුන් කාලයේ විශේෂ අනුග්‍රහයක් දක්වා මෙම විහාරස්ථානයේ අභිවෘද්ධිය පිණිස වැඩ කටයුතු සිදු කර තිබේ . මෙම රජ දරුවන් කල ගම්බිම් කුඹුරු ආදිය පූජා කරමින් ශාසනික දියුණුවට අත හිත දුන් අයුරු ඓතිහාසික මූලාශ්‍රයන්ගේ සඳහන් වේ .

           ක්‍රි . ව . 1747 සිට 1782 දක්වා මහනුවර යුගයේ රාජ්‍යත්වයට පත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමානගේද විශේෂ අනුග්‍රහයක් ඇතිව මෙම රජමහා විහාරස්ථානය පිලිසකර කරවන ලද බවට තොරතුරු ඓතිහාසික මූලාශ්‍රයන්ගේ දැක්වේ . කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් පිරිනමන ලද සන්නසක් ද මෙම විහාරසථානයේ මීට දශක දෙකකට පමණ පෙර දක්වාම තිබුනු බව කියවේ . රජවරුන් විසින් රන්පතක රිදී පතක හෝ තඹ පතක රජුගේ අත්සන හා මුද්‍රාව තබා පිරිනමනු ලබන පත්‍රය සන්නසක් ලෙසද , රිදී පතක , තඹ පතක හෝ තල් පතක මහ අදිකාරම්ගේ අත්සන හා මුද්‍රාව තබා පිරිනමනු ලබන පත්‍රය තුඩපතක් ලෙසද හැදින්වේ .

          ක්‍රි . ව . 1747 සිට 1782 දක්වා මහනුවර රජකල ශ්‍රී රාජාධි රාජසිංහ රජු කලද , මෙම විහාරස්ථානයට ඉඩ කඩම් හා කුඹුරු රාශියක පුජා කරමින් විහාරසථානයේ අභිවෘද්ධිය සඳහා සෑහෙන පමණ කටයුතු කර ඇත . ශ්‍රී සිරිමල්වත්ත රජමහා විහාරසථානයට ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමන් විසින් පිරිනමන ලද ඉඩකඩම් අතර , පාතදුම්බර හුරීකඩුවේ ආරච්චිවසමෙන් පිටවල කුඹුර ප්‍රධාන තැනක් ගනී . රාජසිංහ තුඩුපතින් පූජා කරන ලද මෙම පිටවල කුඹුර හා බැදුනු ජනප්‍රවාදයන්ද ඇත . මීගස්තැන්න අදිකාරම් රාජාධි රාජසිංහ රජතුමන්ට හොරෙන් මෙම කුඹුර අස්වද්දා තිබේ . මෙ පිලිබඳව රජවාසල සේවය කරන්නන් දැන්වූ පසු රජු මීගස්තැන්න අදිකාරම්ගෙන් ඒ ගැන විමසා බැලූ කල විට මීගස්තැන්න අදිකාරම් කියා සිටියේ එම කුඹුර අස්වද්දා ශ්‍රී සිරිමල්වත්ත විහාරස්ථානයට පූජා කිරීමට සිතා සිටින බවයි . ඉන්පසු සතුටු වූ රජතුමා එම කුඹුරත් සමඟ බුදු පිළිම වහන්සේ නමක්ද පූජා කරන ලෙස ඉල්ලීමක් කරන ලද බව ජනප්‍රවාදයේ පැවත එයි . රාජාධි රාජසින්හ රජුගේ මෙම ඉල්ලීම අනුව මීගස්තැන්න අදිකාරම් පාතදුම්බර හුරීකඩුව ආරච්චි වසමෙ පිටවල කුඹුර මෙම විහාරස්ථානයට පූජා කරන අවස්ථාවේ පිත්තලින් නිමවන ලද හිටිපිලිම වහනෙසේ නමක්ද පූජාකර ඇත . එම පිලිම වහන්සේ පිත්තලින් නිමවන ලද අඩි එකහමාරක් පමණ උසැති කිලෝග්රෑම් 20 ක් පමණ බරැති සිරස් පත සහිත පිලිම වහන්සේ නමක් වේ . එම පැරනි පිලිමය සියම් නිකායේ මල්වතු පාර්ශවයේ කාරක සංඝසභික පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය හා ශ්‍රී සිරිමල්වත්ත රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ භාරයේ මල්වතු විහාරයේ පහමුණේ විහාරස්ථානයේ තැන්පත් කර තිබේ .

          පාතදුම්බර උඩගම්පහ ශ්‍රී සිරිමල්වත්ත රජමහා විහාරස්ථානයට පිරිනමන ලද ගම්බිම් අතර , පාතදුම්බර උඩගම්බහ කෝරලයේ දෙගල්දොරුව ආරච්චි වසමෙන් පිනංග කුඹුර , සිරිමල්වත්ත ආරච්චි වසමේ විහාරය තනා තිබෙන වත්ත , ගුන්නෑපාන ආරච්චි වසමේ පින්කොටුව හේන , උඩගම්මැද්දේ කුරුකොස්කොටුව වත්ත යනාදී ගම්බිම් හා කුඹුරු රාජාධි රාජසිංහ රජතුමාගේ සදෙස්මහා පූජා කර තිබේ. මෙම ගම්බිම් පූජා කිරීමේ දී පිරිනමන ලද සන්නස් හා තුඩපත් මෑත භාගයේ දි අභාවයට ගොස් ඇති බව පැවසේ. 1970 දශකය පමණ වන විට මෙම විහාරස්ථානයේ තිබුණු වටිනා කියන සෑම සම්පතක්ම පාහේ විනාශයට පතව තිබේ. ඉහත නම් සදහන් ගම්බිම් වල අයිතිය තහවුරු කිරීමට දැනට පවතින්නේ 1859 මාර්තු 15 වන දින ලියූ නොතාරිස් ඔප්පුව අනුවයි.


          ශ්‍රී රාජාධි රාජසිංහ රජු ද මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කරන ලද බව කියවේ. රාජාධි රාජසිංහ රජුගේ කාලය වන විට විහාරස්ථානයේ විහාර මනදිරය බොහෝ සේ ජරාජීරණ තත්වයට පතව තිබී ඇත. මෙතෙක් පැවති ජරාජීරණ තත්වයට පත්ව ඇති නවරියන් විහාර මන්දිරය වෙනුවට නා ලීවලින් සාදා නාමවන ලද හිටිපිළිම වහන්සේ දෙනමක් හා ඔත්පිලිම වහන්සේ නමක් වඩා හිදුවා 18 රියන් නව විහාර මන්දිරයත් මෙම රජතුමා විසින් ඉදි කර තිබේ. මෙතෙක් කලින් කලට දියුණුවට හා පරිහානායට පත් වෙමින් පැවත ආ මෙම විහාරස්ථානයේ විහාර මන්දිරය බෝධීන් වහනසේ චෛත්‍යය රාජයා හා සංඝාවාසය යන විහාරන්ගයන්ගෙන් සමන්විත සෑහෙන පමණ දියුණු අවදියක පැවතියේය. මහනුවර යුගයේ රජ වූ රජවරුන්ගෙන් නම් අතර , ශ්‍රී සිරිමල්වත්ත රජමහා විහාරසථානය හා බැදී පවතින අමරණීය නාමයන් අතර , ශ්‍රී රාජාධි රාජසිංහ යන නාමය ප්‍රමුඛස්ථානයක් ගනි.





මෙම පිටුව මිතුරන් අතරේ බෙදාහරින්න

0 Comment::

Post a Comment

සෙවුම් යන්ත්‍රය

අපගේ Facebook පිටුව

සියලු ලිපි